ස්වර්ණවාහිනි Live@8 ප්‍රවෘත්ති විකාශයෙන් අපිට හමුවන ෆාතිමා නස්රීන් හා මධුෂාන් ද සිල්වාගේ ජීවිතයේ සුවිශේෂී සැමරුමක් පසුගියදා සිදු වුණා. බ...
මොකක්ද ෆාතිමා ඔබෙයි මධුෂාන්ගෙයි ජීවිතයේ සිදු වුණ සුවිශේෂී දේ. ඒ ගැන කියලම කතාව පටන් ගනිමු?
අපේ විවාහ ගිවිස ගැනීම පසුගිය දවසක සිද්ධ වුණා. ගොඩක් අය හිතුවේ අපේ වෙඩින් එක තිබ්බා කියලා. නමුත් සිද්ධ වුණේ විවාහ ගිවිස ගැනීම. හරිම සතුටුයි මේ ආරම්භය ගැන.
ෆාතිමා සහ මධුෂාන් අපිට මුණ ගැහෙන්නේ ස්වර්ණවාහිනි නාළිකාවෙන්. ඔය දෙන්නා එකිනෙකාට මුණ ගැහෙන්නෙත් ස්වර්ණවාහිනිය නිසා නේද?
ඔව්. අපි ස්වර්ණවාහිනියෙදී තමයි මුණ ගැහෙන්නේ. ඊට පස්සේ අපි යාළුවෝ විධියට ආශ්‍රය කළා. ඊටත් පස්සේ තමයි අපි ආදරය කරන්න පටන් ගත්තේ. අවුරුදු දෙක හමාරක් විතර ආදරය කරලා තමයි අපි විවහා වුණේ.
ෆාතිමාගේ හිත මධුෂාන් ළඟ නතර වෙන්නත් විශේෂ හේතුවක් තියෙන්න ඇති?
මධුෂාන් කියන්නේ ගොඩක් හොඳ කෙනෙක්. මං ගැන හොයලා බලනවා. එයාගේ හොඳ ගුණාංග ගොඩක් මම දැකලා තියෙනවා. එයා පුදුම විධියට අවංකයි. කිසිම වෙලාවක මට බොරුවක් කරලා නෑ. ඒ වගේම එයා ටිකක් ආඩම්බරයි. ඒකටත් මං කැමතියි.
ස්වර්ණවාහිනියේ ප්‍රවෘත්ති විකාශය තුළ ඔබ සහ මධුෂාන් හුරුපුරුදු දෙන්නෙක්. එකම ආයතනයක එකම වෘත්තිමය භූමිකාවක් නියෝජනය කරන්න ලැබීමත් සුවිශේෂී දෙයක් නේද ෆාතිමා?
ඇත්තටම ඒක දෛවෝපගත දෙයක් වගේයි. ඒක හැමෝටම ලැබෙන්නේ නැති අවස්ථාවක්. අපි දෙන්නා එකට නිවුස් කිව්වට අපේ පෞද්ගලික සම්බන්ධය අපි එතනට අරන් යන්නේ නෑ. අපි දෙන්නම වෘත්තිමය ජීවිතයයි පෞද්ගලික ජීවිතයයි පටලවා ගන්නෙත් නෑ. මධුෂාන් මට වඩා ජේයෂ්ඨයි. වැඩ කරද්දී මම එයාගෙන් බැනුම් අහලත් තියෙනවා. එයාගෙන් මට ගොඩක් දේවල් ඉගෙන ගන්න තිබුණා. හැමදාම මධුෂාන් මට උපරිම උදවු කළා. ඉදිරියටත් ඔහුගෙන් ඒ සහාය ලැබෙයි.
මධුෂාන්ටත් මාධ්‍ය ක්ෂේත්‍රයේම ඉන්න ෆාතිමාව ජීවන ගමනේ සහකාරිය කරගන්න සුවිශේෂී කාරණා තියෙන්න ඇති නේද?
මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න අයට මාධ්‍ය ක්ෂේත්‍රයේ කෙනෙක් තෝරා ගන්න එපා කියලා ගොඩක් අය කියනවානේ. නමුත් එකම ක්ෂේත්‍රයේ ඉන්න දෙන්නෙක්ට ඒ ක්ෂේත්‍රය ගැන තේරුම් ගැනීමක් තියෙනවා. ක්ෂේත්‍රය ගැන තේරුම් ගත්ත කෙනෙක් එක්ක ජීවත් වෙන්න පහසුයි.
ෆාතිමාගේ සුවිශේෂි ගති ගුණ ඇති මධුෂාන් ඇයට කැමති වෙන්න?
මට සාමාන්‍යයෙන් කේන්ති යනවා. නමුත් ෆාතිමා එයාව පාලනය කරගෙන ඉන්නවා. අපේ අත්දැකීම් එක්ක බලද්දී විශ්වාසය කියන කාරණය දරුණු ලෙසම අවශ්‍යයි. අපේ ආදර සම්බන්ධය තිබ්බ කාලේ මට කේන්ති යන නිසා නැත්නම් මගේ වෙන අඩුපාඩුවක් කියලා ෆාතිමාට මාව දාලා යන්න තිබ්බනේ. ෆාතිමා සැප පහසුකම් එක්ක හැදුණ, මට වඩා ආර්ථික මට්ටමක් තිබෙන කෙනෙක්. එයාට ඕන නම් මට වඩා ආර්ථික මට්ටමක් තිබෙන කෙනෙක් හොයා ගන්න තිබ්බා. නමුත් එයා තෝරා ගත්තේ මාව. මට එයාව පිරිමි සියයක් එක්ක වුණත් තනියම ගමනක් යවන්න පුළුවන්. ඒ තරම් විශ්වාසයක් මට එයා ගැන තියෙනවා. ෆාතිමා ඒ විශ්වාසය මේ වෙන තුරු කඩ කරලා නෑ.
මට කේන්ති ගියත්, යම් ප්‍රශ්නයක් ඇති වුණත් එයා ඒක පැය විසිහතරකට වඩා අරගෙන යන්නේ නෑ. පරණ ආදර සම්බන්ධයක් තිබ්බ කෙනෙක් හමු වුණත් එයා ප්‍රශ්න කරන්නේ නෑ. එයා මං ගැනත් විශ්වාසය තියලා තියෙනවා.
අපි ආර්ථික මට්ටම් දෙකක. මම ආදර සම්බන්ධය පටන් ගනිද්දීම එයාට කිව්වා ඔයාට මාත් එක්ක ජීවත් වෙද්දි දුක් විඳින්න වෙයි කියලා. මොකද මම ස්ථාවර වෙමින් යන කෙනෙක් නිසා කියලා. එයා ගත්ත තීරණය මේ අවුරුදු ගාණටම වෙනස් කළේ නැහැ. එයාට ගෙදරින් දුන්න සැප සම්පත් මගෙන් බලාපොරොත්තු වුණේ නැහැ. එයාට අවුරුදු 23යි. මට අවුරුදු 31 යි. අපි මධ්‍යස්ථ තැනකට ඇවිත් ජීවත් වෙන්න හැම වෙලාවෙම උත්සාහ කළා.
සිංහල, මුස්ලිම්, දෙන්නෙක්ට විවාහය ගැන තීරණයක් ගන්නත් පහසු වෙන්නේ නෑනේ. ඔය ආදර කතාවටත් ඕනතරම් බාධා එන්න ඇති නේද?
බාධා නම් ගොඩක් ආවා. මුල් දවස්වල පවුල් දෙකේ අයගෙන් කැමැත්ත ගන්න ටිකක් අමාරු වුණා. අපේ ආදර කතාවට මධුෂාන්ගේ නංගි ගොඩක් උදවු කළා. අදහස් හුවමාරු කරගත්තම නම් පවුල් දෙකෙන්ම ප්‍රශ්නයක් වුණේ නැහැ. මධුශාන්ට කැමැත්ත දෙන්න කලින් අපිට විවාහය ගැන තීරණය ගනිද්දි යම් යම් බාධා එයි කියලා හිතුණා. හැබැයි මොන බාධා ආවත් ඒවට මුහුණ දෙනවා කියලා විශ්්වාසයෙන් හිටියේ.
එතකොට මධුශාන් ෆාතිමාව විවාහ කරගන්න තීරණය ගනිද්දී ඔයාගේ පැත්තෙන් මොන වගේ දේවලටද මුහුණ දුන්නේ?
මම සිංහල, ෆාතිමා මුස්ලිම්. හැබැයි අපි දෙන්නම අපේ ජාතිය ආගම කියන කාරණාවලදී අන්තවාදී තැනක හිටියේ නැහැ. ෆාතිමා මුස්ලිම් ආගමේ වුණාට එයා පල්ලි යනවා. පන්සල් යනවා, බෝධි පූජා කරන්න යනවා ෆාතිමාට ඒ දේවල් ප්‍රශ්නයක් වුණේ නෑ. අපේ පවුල්වල අයත් ජාතිය කියන දේ ප්‍රශ්නයක් කරගත්තේ නැහැ. අපි අතර තිබ්බ වයස් පරතරය තමයි එයාලට ප්‍රශ්නයක් වුණේ. නමුත් අපිව තේරුම් අරගෙන පවුලේ අය අපිත් එක්ක හිටපු නිසා අපිට විවාහය කියන තීරණය ගන්න පුළුවන් වුණා. අපිට පවුල්වලින් ලොකු බාධා ආවා නම් මේ තරම් දුර එන්න බැරි වෙන්න තිබ්බා.
ඔය දෙන්නාගේ විවාහ ජීවිතයට බොහෝ දෙනාගෙන් ආශීර්වාද එක්වෙලා තිබුණා නේද ෆාතිමා?
ඔව්. තිබ්බේ විවාහ ගිවිස ගැනීම නිසා අපි පවුලේ ඥාති, මිත්‍රාදීන් එක්ක තමයි ඒ විවාහ ගිවිස ගැනීම සැමරුවේ. විවාහ ගිවිස ගැනීමේ ෆොටෝ සමාජ මාධ්‍යවල දාලා තිබුණු නිසා අපි හිතුවේවත් නැති විදිහට බොහෝ අය අපි දෙන්නාට සුබපතලා තිබ්බා. ජාති, ආගම් භේදයක් නැතිව අපිට ආශීර්වාද කරලා තිබුණා.
විවාහ උත්සවය පවත්වන කාල වකවානුව ගැනත් තීරණයක් අරගෙනද තියෙන්නේ?
ඔව්. මේ අවුරුද්දේ මැද භාගයේ විවාහ උත්සවය ගන්නවා.
මොනවාද මධුෂාන් ඉදිරි සැලසුම්?
මම ප්‍රවෘත්ති නිවේදනයට ඇවිත් අවුරුදු දහයක් වෙනවා. ඉදිරියට මාධ්‍යවේදියෙක් විදියට පවතින්න අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් ගොඩනඟා ගනිමින් ඉදිරියට යන්නත් උත්සාහ කරනවා.
තිළිණි කෞශල්‍යා විජේසිංහ
COMMENTS