ලෝක ඉතිහාසය තුළ ඒ දුක්බරම වැකිය ලියා ඇත්තේ මුළු ජීවිත කාලය පුරාම ලොව මිනිසුන් උදෙසා සිනහවක් දෙන්නට උත්සාහ කළ මිනිසාය. එහෙත් හැඩිය යුතුම තර...
ලෝක ඉතිහාසය තුළ ඒ දුක්බරම වැකිය ලියා ඇත්තේ මුළු ජීවිත කාලය පුරාම ලොව මිනිසුන් උදෙසා සිනහවක් දෙන්නට උත්සාහ කළ මිනිසාය. එහෙත් හැඩිය යුතුම තරමේ වේදනාවක් සහිත ගතක් ද සිතක් ද දරාගෙන මා මේ කතා කරන ගැහැනිය නොහඬාම සිටියාය.
මුළු ප්‍රේක්ෂකාගාරය ම පිරී තිබුණේ හැඟීම් සහිත මුහුණුවලිනි. එහි එක් මුහුණක හෝ හිස් බවක් තිබුණේ නැත. අතිශය දුක්බර හැඟීම් දෝර ගලා යන මුහුණු යායක් ලෙසිනි එය මට පෙනුණේ. ඒ රසිකාගාරයේ මිනිසුන් සහ ගැහැනුන්ගේ හදවත් හා දෙනෙත් පීරාගෙන කඳුළු ‘ටොනේඩෝවක්’ හමා යෑමට තරම් ඇගේ හමුවීම සමත්ව තිබිණ.
ඒ සා දුක් කන්දරාවක් දරා ගෙන මේ සුන්දර යුවතිය පෝය දාක හිමිදිරි උදෑසනක් මෙන් සන්සුන් ඉරියව්වෙන් එහෙත් සිනහ මුසු මුහුණින් ගීත හතරක් ම කීවාය.
‘පරසතු මල්වල සුවඳ අතීතේ විසුරුණු මල් ළඟ පරව ගියාවේ...මුලින් ම තෝරා ගනිමින් ඇය ඉතා ලයාන්විතව ගැයුවාය. එතැන් පටන් බොඳ මීදුම් කඳුරැල්ලේ සුරංගනා රජ දහනේ, සඳ තරු මල් මට දන් දුන්, මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි පා යුග නැති ඔබ දකින තුරා....රසිකයන්ගේ කඳුළු තෙත් වෙමින් ද වියැළෙමින් ද කාලය ගත වෙද්දී විටින් විට ඇය ඔවුන්ගේ සවනට සිය හඬ මුසු කළාය.
‘ඔබට මොනවද දැන් දැනෙන්නෙ...’ අවසන නිවේදකයා ඇගෙන් විමසීය.
‘හැම දේම ලැබුණා වගේ දැනෙනවා....’ ඇය සිනාසෙමින් කීවාය.
මා මේ කියන්නේ පසුගිය දෙසැම්බර් 08 ඉරිදා රාත්‍රි රූපවාහිනිය විකාශය කළ ‘සිහිනයකි රෑ’ සහෘද සම්භාෂණය ගැනය. මහරගම අපේක්ෂා රෝහලේ ජීවිතයත් මරණයත් අතර සටන් කොට මරණයට දින නියම වී සිටි 26 හැවිරිදි ධෛර්යසම්පන්න යුවතිය හසිනි ශෂිකලා රාජපක්ෂ ගැනය.
ඇගේ අවසන් ජීවිත ආශාව යැයි ඇය කළ ඉල්ලීම ඉටු කරන්නට එදා ඇය කැටුව පැමිණ සිටියේ කීර්ති පැස්කුවල් නම් අතිවිශිෂ්ට මනුස්සකමින් පිරුණු ළයාන්විත සංගීතවේදියාය. ගීත විචාරය කළේ ප්‍රවීණ පුවත්පත් කලාවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාරයන් ය. ප්‍රවීණ නිවේදක මහේෂ් නිශ්ශංක වැඩසටහන මෙහෙයවීය.
මිනිසුන්ගේ ජීවිත කාලය පිරී තිබෙන්නේ එක්වීම් හා වෙන්වීම්වලිනි. ලෝකයේ කවදත් හමුවීම්වලට වඩා සිදුවන්නේ වෙන්වීම් ය. වෙන්වීමක් යනු සැබැවින්ම ශෝකජනක දෙයකි. මරණය යනු වේදනාකාරීම වෙන්වීමයි. එය අප කාටත් පොදුය. ඒ බරපතළ රෝගී තත්ත්වය යටතේ අපේක්ෂා රෝහලේ සියලු වෛද්‍ය වාර්තා හසිනි මිය යන්නට ඉඩ ඇතැයි කියා තිබුණේ 2018 දෙසැම්බර් පමණය. එහෙත් පසුගිය සතියක ‘සිහිනයකි රෑ’ තුළින් ඇය අප හමුවට ආවාය. ඒ නිසාම ඇගේ කතාව කියන්නට මම ඇය සොයා ඇගේ නිවෙසට ගියෙමි. සැමියා, මව සහ නැන්දණිය සෙවණේ සත්කාර ලබමින් ඇය පියකරුව වෙසෙන්නීය.
“අසනීප වෙන්න කලින් සංගීත විශාරද උපාධියට ඉගෙන ගනිමින් හිටියෙ. ඒත් එක්කම මම ජපුර කැම්පස් එකේ කළමනාකරණ උසස් ඩිප්ලෝමාවකුත් කළා.
‘’ගිය අවුරුද්දෙ 2018 මුල පටන් කොණ්ඩෙ යන ඒව තිබුණ. බඩ ලොකු වෙනව. ශරීරිය කෙට්ටු වෙනව. ඇඟ පත පුදුම විධියට වේදනාව දෙන්න ගත්ත... පස්සෙ සැකයට චෙක් කළා. ඩිම්බකෝෂ පිළිකා තත්ත්වයක්. ජීවිත අවදානම ලොකුවට තියෙන දෙයක්. අන්තිම තත්පරේට ඇවිල්ල. දැනගන්න කොටත් හොඳටම පැතිරිලා... බෙහෙත් දෙන්න බෑ වකුගඩු නරක් වෙන නිසා. ඉතින් ඉවසන්න බැරිම තැන වේදනා නාශක දෙනව. අත්, යටිපතුල්, හන්දි, තුනටිය බරපතළ විධියට වේදනාවයි. ඒ නිසාම සිහි කල්පනාව නැති වෙනව...”
කළුබෝවිල රෝහලෙන් ඇය මහරගම අපේක්ෂා රෝහලට මාරු කර තිබිණ. ඇගේ හිත හදන්නට ගෙදර අය ඇයට කීවේ පරික්ෂණ සඳහා එසේ කළ බවය. වෛද්‍යවරුත් සැමියාත් ඇයට කිසිත් නොකියන්නට තීරණය කර තිබිණ. එහෙත් ඔවුන්ගේ නොසන්සුන් වේදනාකාරී හැසිරීම්වලින් ඇය බොහෝ දේ තේරුම් ගෙන තිබිණ. වෛද්‍යවරුන්ගේ වචන හා පරික්ෂණ ගැන ඉවෙන් මෙන් දකිමින් ඒවා ලැප්ටොප් පරිගණකය ඔස්සේ අන්තර් ජාලයේ පිරික්සමින් ඇය තමන්ගේ ශරීරය තුළ ඇති විනාශය ගැන බොහෝ දේ දැන ගනිමින් උන්නාය.
මරණය විසින් ජීවිතය බදා ගන්නට කරනු ලබන යුද්ධයක් බවට ජීවිතය පත් වූ කල මිනිසකුට ඇති වන හැඟීම කෙබඳු එකක් වනු ඇද්ද? ඇරත් වෛද්‍යවරුන් විසින් ජීවිතය යළි හමු නොවන රෝගීන්ගේ ගණයට දැමූ පිළිකා රෝගියකු වූ කල මිනිසකුට ඇතිවන සිතුවිලි කෙබඳු වනු ඇද්ද?
ඇගේ ආදරණීය සැමියා අසේල චානක ඒ ගැන මෙසේ කීවේය.
‘’පස්සෙ වෛද්‍යවරු තීරණය කළා ඔපරේෂන් කරන්න. ඔබ විශ්වාස කරනවද ඒ ඔපරේෂන් එකේ විධියට ඇඟෙන් ඉතුරු වෙන්නෙ හාට් එක විතරයි. අක්මාවෙනුත් කොටසක් අයින් කරල ක්ලිප් එකක් ගහනව වගේ දෙයක් සිද්ධ වෙනව. වකුගඩු, පෙණහලු, වසා පද්ධතිය, බඩවැල් හැම තැනම පැතිරිලා...”
ඒ ගැන මින් පසු කතා කළ යුතු නැත. ඒ අනුව 2018 දෙසැම්බර් වන විට ඇගේ ජීවිතය අවසන් වීමට නියමිතව තිබිණ.
‘’වෙන දෙයක් වෙද්දෙන්. මං කිව්ව ඔපරේෂන් එක කරන්න බෑ කියල. කොහොමත් වේදනා විඳිනවනෙ. ගොඩක් වෙලාවට මට මාව විශ්වාසයි. ඒක මට තේරුණා. මං හස්බන් නැති වෙලාවක ඩොක්ටර්ගෙන් ඇහුව ඩොක්ට මට ඕන දෙයක් දරා ගන්න පුළුවන්. මට ඇත්ත කියන්න කියල. මට මගේ ලෙඩේ ගැන දැන ගන්න ඕන කියල. ඊට පස්සෙ ඩොක්ටර් මට පැහැදිලි කළා...”
මරණයට දින නියම කර ගෙන හසිනි ගෙදර ආවාය. දැන් ඇය ඒ කාලය පසුකර වසරකට වඩා ජීවත් වී තිබේ. පසුගිය දවසක ජාතික රූපවාහිනියේ ‘සිහිනයකි රෑ’ තුළින් ඔබට අපට ඇය හමු වන්නේ ඔය අතර ය.
“මට ඉස්සර ඉඳන් ටිකක් සින්දු කියන්න පුළුවන්. අපි බඳින්න ඉස්සර හස්බන් ඕක දන්නෙ නෑ. බැන්දට පස්සෙ ගෙදර බාත්රූම් එකේ ඉද්දි එහෙම මං සින්දු කියනව. ඉතින් ඒව ඇහිල එයා තමයි මට සින්දු කියන්න බල කළේ. ඊට පස්සෙ එයත් එක්ක ගිහිල්ල එයාගෙ සිංහ සමාජයේ පාටිවල දිගටම සින්දු කිව්ව. ඒ උත්සවවලට නැතිවම බැරි කෙනෙක් බවට මං පත් වුණා. පස්සෙ සුජාතා අත්තනායක මහත්මිය මට හරියට උදවු කළා. එයාගෙ වේදිකාවල මට සින්දු කියන්න අවස්ථාව දුන්න. කීර්ති අයියත් මට ගොඩක් උදව් කළා. එයාගෙ ‘මනමාල හැන්දෑව‘ ප්‍රසංගයෙදි මට සින්දු කියන්න දුන්න. ඔහොම යනකොට තමයි මං අසනීප වුණේ...
‘’ඉතින් සිහිනයකි රෑ වැඩසටහනට මං කොහොමත් ආසයි. ඒකෙ සින්දු කියන්න තිබ්බ නම් හොඳයි කියල මං හැමදාම හිත හිතා හිටියෙ. මං අඳුරන අයිය කෙනෙක් දිනේෂ් ගමගේ. කැන්සර් හොස්පිට්ල් එකේ ඉද්දිත් මං ඒ අයියට කිව්ව මට සිහිනයකි රෑ සින්දු කියන්න සෙට් කරල දෙන්න කියල. කැන්සර් හොස්පිට්ල් එකේ ටී. වී. එකෙනුත් මං හැමදාම ඔය වැඩසටහන බලනව. මං දිනේෂ් අයියට කිව්ව මං මැරෙන්න ඉස්සර එක පාරක් හරි මට සිහිනයකි රෑ සින්දුවක් කියා ගන්න ඕන කියල. ඉතින් කොහොම හරි වැඩසටහන කරන මහේෂ් නිශ්ශංක අයියවත් සම්බන්ධ වෙලා මට ඒ අවස්ථාව ලැබුණා. මට දැන් හරි සතුටුයි. සිහිනයකි රෑ කියන්නෙම මගේ සිහිනයක්....” හසිනි සිනාසෙමින් කියන්නීය.
ප්‍රසංගයට යන්නට දින 2-3කට කලිනුත් ඇයට බරපතළ කැස්සක් හට ගෙන තිබිණ. එය අහල පහළ ගෙවල්වලටත් ඇසෙන තරමේ දරුණු එකක් විය. කැස්සත් සමඟ ලේ පවා ගියේය. එහෙත් ඇය සිහිනයකි රැයට ගියේ පුදුමාකාර ප්‍රබෝධයකිනි. කිසිදු චකිතයක් නැතිව ඇය එහිදී ගීත 04ක්ම කීවේ කීර්ති පැස්කුවල් සමඟ යුග ගීයක් ද සමගිනි. කීර්ති ඉතා ලයාන්විතව ‘සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා වලාකුළක සැඟවිලා...ගසක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමී....වැනි ගී කියන විට හසිනි හිස දෙපසට සලමින් ඒ ගී මුමුනමින් රස විඳින අයුරු පෙනිණ.
එදා ප්‍රේක්ෂකාගාරයේ සියල්ලන් හැඟීම්බරව සිටිද්දී බොහොමයක් දෙනා කඳුළු සලද්දී ඇය මුළු කාලය පුරාම සිටියේ සිනා මුසු මුහුණිනි. සුජාතා අත්තනායක මහත්මියගෙන් සංගීතය ඉගෙන ගෙන ඇති ඇය පරසතුමල්වල සුවඳ අතීතේ... ගීතය විශේෂයෙන්ම තෝරා ගෙන තිබුණේ ඒ ගුරු බැතිය නිසාය. ටිකක් පැරණී ගීතයක් වන ‘මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි..’ ගීය ඇය කවදාවත් අසා තිබුණේ නැත. එහෙත් කුරුවිට බණ්ඩාරයන්ගේ තේරීමක් මත ඇය ඒ ගීය මනාව ගායනා කළාය. මා සමඟ මේ කතා කරන මොහොතේ දැඩි අපහසුවකින් විටින් විට එන කැස්ස ගෙල අතගාමින් සමනය කර ගන්නා ඇය එදා ගායනයේදී ඒ අපහසුව පාලනය කර ගත්තේ කෙසේ දැයි මට සිතිණ. මරණය අතේ තබාගෙන ඒ විධියට සිනාසෙමින් ජීවිතයට මුහුණ දෙන්නට හැකි වීම ම මොන තරමේ අරුමයක් ද? ඇගේ සැමියා අසේල මේ හැම දෙයකට ම ඇයට ශක්තියක් වී සිටින්නේ පුදුමාකාර ලෙසිනි. ඔහු තමන්ගේ එකම ආදායම් මාර්ගය වන රැකියාව ද අත්හැර දමමින් ඇයට සත්කාර කරන්නට කැප වී සිටින්නේය.
ගැහැනියකට සිය ජීවිතයේ උපයා ගන්නට දුෂ්කරම ධනය තමාගේ සිතිවිලිවලට පෙම් බඳින පිරිමියකුගේ ආදරයයි. එක තත්පරයකදී හැම දෙයක්ම අමතක කරන්නට හැකි මිනිසුන් වෙසෙනා ලෝකයක එක ආදරයක් වෙනුවෙන් මැරි මැරි ජීවත් වන ඇගේ සැමියා සිය බිරියගේ රෝගී බව වෙනුවෙන් කරන කැපවීම මෙහි ලියා තැබිය යුතුය. වනගත වීමෙන් හෝ තපසට යෑමෙන් මේ කඩවසම් තරුණ විවාහකයාට තව කරන්නට දෙයක් ඉතිරි වී නැතැයි මට සිතිණ. ඔහු තමන්ගේ ජංගම දුරකථනයෙන් වැඩි කලක් නොව මේ මෑතකදී ගත් ඇගේ සේයා රූ කීපයක් මට පෙන්වීය. සැබැවින් ම ඇය රූමත්ය. ඇගේ ඒ කාළ වර්ණ ලස්සන වරළස දැන් දකින්නට නැත. එහෙත් සුදුම සුදු හැඳ හිසට සුදු තලප්පාවක් බැඳි ඇය තුළ කුමක්දෝ අපූරු සුන්දරත්වයක් ඇතැයි මට සිතිණ.
“අපි හිටියෙ රන්න. මම හැදුණෙ වැඩුණෙ එහෙ. කතරගම ජනාධිපති බාලිකාවට තමයි ඉස්කෝලෙ ගියේ. ඒලෙවල් කළා ආර්ට්ස්වලින්. අපි දෙන්න ඉතින් යාළු වුණේ නවීන තාක්ෂණයෙන් තමයි එෆ්. බී. එකෙන්...ෆේස් බුක් ආදරයක්...’’ ඇය සිනාසෙමින් කීවාය.
‘’2013 යාළු වුණාට දිගටම එෆ්. බී. එකෙන් විතරයි අපි හමුවුණේ. හැබෑටම දෙන්න මුණ ගැහුණෙ 2015දි. එහෙම හමුවෙලා දැකල 06 මාසෙකින් විතර 2015 දිම අපි බැන්ද. මොකද නැකැත් තිබුණෙ නැහැ. ආයෙ අපි දෙන්නට හරියන නැකැත් එනව කිව්වෙ අවුරුදු 04කින්. ඉතින් අපි බැන්ද. කතරගම තමයි වෙඩින් එක ගත්තෙ. එහෙ ටික කලක් ඉඳල තමයි මෙහෙ මහරගම පදිංචියට ආවෙ....”
තරුණ යුග දිවියේ උදෑසනදී ම ඔවුන්ට මුහුණ පාන්නට සිදු වී ඇත්තේ එක්තරා විධියක දුක්ඛිත ඉරණමකට ය. එහෙත් මේ වහල යට ඔවුන් සතුටින් සිටින බව මට දැනිණ. හසිනිට සිය අම්මා ගේ ද නැන්දණියගේ ද ආදරය, සෙනෙහස නොමඳව ලැබෙමින් තිබේ. හසිනිගේ ජීවිතයට කඳුළු එන්නට පටන් ගෙන දැන් කාලයක් ගතව ගොසිනි. ඇය ජීවත් කරවන්නේ ඔවුන්ගේ ඒ උත්තරීතර සෙනෙහස බව නිසැක ය.
අපේක්ෂා රෝහලේ කාරුණික වෛද්‍යවරුන් වන ප්‍රියංග අබේසේන, අජිත් මුහන්දිරම්ගේ, කල්‍යාණි දිසානායක තවමත් ඇයට මහත් සේ පිහිට වෙයි. සැමියා අසේල කියන පරිදි විශේෂයෙන්ම ආධ්‍යාත්මවේදී දීගොඩ කුමාර මේ තත්ත්වයෙන් හසිනිට සුවපත්ව සිටින්නට මහත් ශක්තියක් වී සිටිනවා පමණක් නොව ඔවුන් මුහුණ දී සිටින දුෂ්කර පසුබිමට මුදලින් ද උපකාර කර තිබේ.
මෙතරම් කුරිරු සහ බියජනක රෝගී තත්ත්වයක් හමුවේ මේ සියුමැලි යුවතිය යෝගී ගැහැනියක සේ සෘජුව සිතන්නටත් ධෛර්යයෙන් එයට මුහුණ දෙන්නටත් සූදානම්ව සිටීම පුදුම සහගතය. අප ජීවිතය අතහැරිය යුතු නොවේ. එය අපෙන් උදුරා ගත යුතුය. පිළිකාව යනු මරණ දඬුවමක් නොවන බව මතක තබා ගන්න යැයි ඇය මේ කුලකයේ සියලු ගිලනුන්ට කියා දෙන ශක්තිමත් ඇදුරුතුමියකැයි මට සිතේ.
‘’මං ලොකු කඩඉමක ජීවත් වෙන්නෙ. මේ වගේ ලෙඩක් හැදුණාම ඕන කෙනෙක් මානසිකව කඩා වැටෙනව. බෞද්ධයො හැටියට අපි විශ්වාස කරන විධියට මේ ගිය ආත්මෙ පවක්. මේ කර්මය මං ගෙවා දැමිය යුතුයි. මම ඉතින් ඒක ගෙවනව. මට ආදරය කරන කාටවත්ම මගේ අම්මට සැමියට මේක අල්ල ගෙන ඉන්න දෙන්න බැහැ මට කොච්චර ආදරේ වුණත්...”
ඉහළට ගත් හුස්ම පොද පහළට හෙළන ඇසිල්ලකදී සියල්ල අහිමි වී යා හැකි ජීවිතයක්ය අප ගෙවමින් සිටින්නේ. අපි බොහොමයක් දෙනා එවැනි විශිෂ්ට ධර්ම කාරණයක් කියා දෙන ශේර්ෂ්ඨ ආගමකට අයත්ව උපන්නෝ වෙමු. උපත හා විපත දෛවයෝගයකි. එහි පරාජය ඉක්මනින් උරුම වන්නේ මෙය ලියන මට ද කියවන ඔබට ද හසිනිට දැයි දන්නා කිසිවකු මේ ලෝකයේ නැත.
මීට වසර 500කටත් එහා කාලයකදී වෙන්වීම ගැන ලොව සොඳුරුතම ප්‍රකාශය කළේය. සිරියානු ජාතික කවියා කලීල් ජිබ්රාන්ය. ඔහු මෙසේ කියා තිබිණ.
‘’විප්‍රයෝගය සදහා හෝරාව පැමිණෙන තුරු ප්‍රේමය ස්වකීය බන්ධනයේ ගැඹුර නොහඳුනන්නේ ය...”
ඒ නිසාම සකල මිනිසුන්ගේ ආදරය ද ප්‍රේමය ද සෙනෙහස ද ශාන්තිය ද හසිනි වෙත ලැබිය යුතු යැයි මම සිතමි.
තිස්ස කොරතොට
tissakorathota@gmail.com
සේයා රූ- සරත් කුමාර
COMMENTS